අප රාජාණ්ඩුවක් නොවේ, අප ජනරජයකි – මෙය ඉදිරියටත් එසේ ම පවතිනු ඇත්ද?

– ආචාර්ය සකුන්තලා කදිර්ගාමර්

“අපි රාජාණ්ඩුවක් නොවේ, අපි ජනරජයක්.”

ගරු. අලි සබ්රි අමාත්‍යතුමාගේ මේ වදන් ඇසීමෙන් සහ කියවීමෙන් සිත් ධෛර්යමත් විය. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් අමනෝඥ අන්දමින් තමන් මහරජවරුන් බවක් හෝ මහරජුන් බවට පත්වෙමින් සිටින වගක් හෝ තම ක්‍රියා සඳහා කිසිදු වගවීමක් තමන්ට නොමැති වගක් හෝ සිතන්නේ නම්, ඒ, ඔවුන් වටා සිටිනා චාටු බස් දොඩන්නන් ඒ බවක් විශ්වාස කරන්නට ඔවුන්ට ඉඩ දී ඇති නිසාවෙන් බව මෙහි දී සබ්රි ඇමතිතුමාට සිහිකරදීම සුදුසු ය. ඉතිහාසය තුළ, නායකයින්ගේ මෙවැනි ආටෝපයෙන් යුතු සිහින පෝෂණය කරමින් ඔවුන්ගේ පරිපූර්ණත්වය හා අපරාජිතභාවය හුවා දැක්වූ බොහෝ චාටු බස් දොඩන්නන්, ඔවුන්ගේ සමීපතමයන් ලෙස කටයුතු කළ අය වේ. ජනපතිවරුන්ගේ සහ අගමැතිවරුන්ගේ ඒකාධිපතිවාදී හෝ රාජාණ්ඩු ප්‍රවණතා සඳහා අමාත්‍ය මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ සිටින පන්දම් කාරයින් සහ දේශපාලන පක්ෂවල ප්‍රධාන ක්‍රියාකාරීන් සහය සහය දෙති.

තම අයිතිවාසිකම් පිළිබඳ හොඳ දැනුමක් ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් වරින් වර මෙවැනි නායකයින් බලයෙන් පහකිරීම හරහා තමන්ට රජෙකුගේ යටත්වැසියන් බවට පත්වීමට කැමැත්තක් නොමැති බව යළි යළිත් පෙන්නුම් කර තිබේ. තම අමාත්‍ය මණ්ඩලයේ ද, පාර්ලිමේන්තුවේ ද, පක්ෂයේ ද සහය තිබූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අසීමාන්තික වාර ගණනක් ජනාධිපති ධුරය දැරිය හැකිවන අන්දමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17වැනි සංශෝධනය ප්‍රවර්ධනය කළ විට, 2015 මැතිවරණයෙන් ඔහු පරාජය වූයේ ය. එවකට අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය පවා, ජනාධිපතිවරයාට අසීමිත වාර ගණනක් මැතිවරණවල තරඟ කිරීමට ඉඩ ලැබීම ඡන්දදායකයින්ගේ නිදහස තවත් වැඩිදියුණු කරන්නේ යැයි සහතික කරමින් එම සංශෝධනය සාධාරණීකරණය කිරීමට වෑයම් දැරූ එම යුගය පැහැදිලිවම චාටු බස් දෙඩීමේ උච්ඡතම අවධිය වූ බවට සැකයක් නොමැත. එවකට අපට කියා සිටියේ මෙමගින් ප්‍රජාතන්ත්‍රවාදය නව තලයකට ඔසවා තැබෙනු ඇති බවකි.

ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත අසීමාන්තික බලයක් පිරිනැමූයේ නැත. ඔහුට පාර්ලිමේන්තුවේ ප්‍රබල සහයෝගයක් තිබුණ ද එය 2/3ක බහුතරයක් නොවීය. තානාන්තර සහ ආත්මලාභය අපේක්ෂා කරන පන්දම් කාරයින්ගේ පක්ෂ මාරුවත් සමගින් ඔහුට එම බහුතරය ලැබුණත් එය ජනතාව ලබාදුන්නක් නොවේ. දැන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයෙන් ලැබුණු බලතලවලින් සන්නද්ධ වූ ජනාධිපතිවරයා සිතන්නේ තමන් වගවීමට වුවමනා නොමැති බවකි. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයකු වශයෙන් ඔහුගේ බලතල වැඩිකළා පමණක් නොව, ද්විත්ව පුරවැසිභාවය දරන ඔහුගේ සහෝදරයා සඳහා දේශපාලන අවකාශය තුළ ඉඩ සලසාදීමට විශේෂ මාර්ගයක් පාදා දුන්නේ ය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද මෙවැනි කටයුතු සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂකම් තිබූ අයෙකි. තම අමාත්‍ය මණ්ඩලයේ සියළුම අමාත්‍යවරුන්ගෙන් දින නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි අත්සන් කරගැනීමෙන් ඔහු පෙන්වූයේ මිනිසුන් සම්පූර්ණයෙන් ම එහෙයියන් බවට පත් කිරීමට තමා සතුවූ සහජ හැකියාවයි. ඕනෑම මොහොතක ඔහු කළයුතු වූයේ අදාළ ඉල්ලා අස්වීමේ ලිපියට දිනයක් යොදා ලිපිය යැවීම පමණි. එවකට ජයවර්ධන ජනපතිවරයාට තිබුණේ ප්‍රබල අමාත්‍ය මණ්ඩලයක් වූ අතර ප්‍රේමදාස අගමැතිතුමා, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක සහ රොනී ද මෙල් සහ තවත් අය ඇතුළු කුසලතාසම්පන්න වෘත්තීයවේදීන් සහ පලපුරුදු දේශපාලඥයින් එහි සාමාජිකයින් විය. එනමුත් ඒ සියළුදෙනා යටහත් පහත් ලෙස ඉහත කී ඉල්ලා අස්වීමේ ලිපි අත්සන් කර භාර දුන් අතර, ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඒකපාර්ශවීය පාලන විලාසයට එය පසුබිම සකසා දුන්නේ ය.

ඒකපාර්ශවීය විලාසයක් ගන්නා ආණ්ඩුකරණයේ අන්තරායන් සහ වේදනාව පසුගිය වසර තුළ අපි සියළුදෙනාම අත්වින්දෙමු. ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ආණ්ඩුවක ලක්ෂණ වන නීතියේ ආධිපත්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය, සියළුදෙනා ඇතුළත් කරගැනීම, සහයෝගීතාවය යනාදී ලක්ෂණ පසෙකට තල්ලු වී ගොස් ය. මහජන අදහස් විමසීම, රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය රාමුගත කිරීමටත් සමාලෝචනය කිරීමටත් විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සහ රජයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යස්ථ වූ නිලධාරී ක්‍රමය යොදාගැනීම මගහැර ගොස් තිබේ. විවිධ කාර්යසාධක බලකා පත් කෙරෙන අතර ඒවායේ සාමාජිකත්වය දරන්නේ ගජමිතුරන්, හමුදා නිලධාරීන් හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් ය. ප්‍රජා අවකාශ දේශපාලනීකරණය සහ හමුදාකරණය දෙසට පැහැදිලිවම විතැන් වීමක් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනවරමක් ලැබී ඇති බව අපට නිතර නිතරම සිහි කර දෙනු ලැබේ. සැබැවින්ම, සෑම ජනපතිවරයකුටම ලැබෙන්නේ ජනවරමකි. එය සුවිශේෂී යමක් නොවේ. කෙසේනමුත්, සීමා සහිතවූත් තාවකාලික වූත් එම ජනවරම ලබාදී ඇත්තේ තමන් බලයට පත්වූ එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිටිමින් අපේ සුබසෙත තකා ආණ්ඩුකරණයට ය. එය, තම දේශපාලන බල පරාක්‍රමය විදහාපෑමටත් අත්තනෝමතික ලෙස රට පාලනයටත් ලබාදුන් සීමා විරහිත ජනවරමක් නොවේ. නමුත් වැඩිවැඩියෙන් සිදුවන්නේ මෙයයි.

වසංගතයට සහ ආර්ථික අර්බුදයට මුවා වෙමින්, ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථිකයට මූලික වශයෙන් බලපාන්නා වූ, ඉතා පුළුල් ප්‍රතිවිපාක ගෙන දෙන තීරණ ගනු ලබමින් පවතියි. මේ අර්බුදවලට මුවා වෙමින් දේශපාලනික අනුග්‍රාහකත්වය ඇතිව තම මඩි තර කරගන්නා දේශීය සහ විදේශීය කොල්ලකරුවන් පිළිබඳව දැන සිටියත් අපට ඔවුන් වැලැක්විය නොහැක. ප්‍රසම්පාදන නීතිවලින් නිදහස්වීම සහ වගවීමෙන් නිදහස්වීම වැනි අළුත් නිදහස පරාසයක් ම ඔවුහු භුක්ති විඳිති. ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් නිසි විමසුමකට ලක් නොවූ කොන්දේසි මත හුවමාරු වේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගත වූ වසර තුළ මුහුණ දුන් කම්පන බොහෝ ය. වසංගතයත් සමගින් රට අගුළුදැමූ තත්වයන්ට යෑමට අපට බලකරන ලදී. බොහෝදෙනාට තම රැකියා අහිමි වී ගොස් ය. ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති අතර ආර්ථිකය කඩා වැටෙමින් තිබේ. ඔවුන් ඉදිරියේ ඇති කාර්යය පිළිබඳව එක්කෝ නොසැලකිලිමත්, නැතහොත් අත්දැකීම් අඩු, සහ බලය යොදාගැනීම සම්බන්ධයෙන් මීට වඩා හොඳින් ඉගෙනගත යුතුව තිබෙන කාර්යසාධක බලකා විසින් අපගේ ජීවිත පාලනය කරනු ලැබේ.

ජනතාව කැළඹෙමින් සිටිති. නොපමාව කාබනික පොහොර දක්වා මාරුවීමට ගත් අත්තනෝමතික තීරණය ගොවි ජනතාව කළඹා තිබේ. එය, වර්තමානයේ පවතින ක්‍රමයේ ප්‍රායෝගිකභාවය පිළිබඳව තම හඬ අවදිකිරීමට කෘෂිකාර්මික අංශයේ විද්වතුන් කළඹා තිබේ. ගුරුවරුන්ගේ යුක්තිසහගත ඉල්ලීම් සලකා බැලීමට රජය ප්‍රතික්ෂේප කිරීමත් සමගින් වැඩවර්ජනයකට යෑම සඳහා ඔවුන්ගේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වී තිබේ. බලශක්ති ක්ෂේත්‍රයේ සැකසහිත ගනුදෙනු විදුලිබල ක්ෂේත්‍රයේ සේවකයින් වැඩවර්ජනයකට යෑම සඳහා කළඹා තිබේ. එක් රටක්-එක් නීතියක් කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමේ තීරණය අවසාන වශයෙන් අධිකරණ අමාත්‍යාංශය කළඹා තිබේ.

ඥානසාර හිමියන්, එනම්, අධිකරණයට අපහාස කිරීම සඳහා වරදකරුවකු ලෙස සහ, සුළුතර විරෝධී, විශේෂයෙන්ම මුස්ලිම්-විරෝධී මත පොළඹවන්නකු  ලෙස එම හිමියන්ට ඇති පසුබිම සලකා බලන කල මෙම පත්වීම මගින් අධිකරණ අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් කෙරෙන කාර්යයන් අඩපණ කරවන අතර නීතියේ ආධිපත්‍ය සඳහ වූ කැපවීම දුර්වල කරවයි.

ශ්‍රී ලංකාව ජනරජයක් මිස රාජාණ්ඩුවක් නොවන බව සබ්රි අමාත්‍යවරයා විසින් දැන් තරයේ ප්‍රකාශ කර සිටින අතරේ, අප එළඹී සිටින්නේ විනිවිද නොපෙනෙන්නා වූත්, භයානක වීමට ඉඩ ඇත්තා වූත් ආණ්ඩුක්‍රම කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලියක් අභිමුඛයට ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් ද, මෙතෙක් කල් සිදු වූ ආකාරයට හමුදාව දේශපාලනයෙන් වෙන් කර තැබීම ද, භාෂා අයිතිවාසිකම් සහ ස්වාධිපත්‍ය හරහා සුළුතර කණ්ඩායම් ඇතුළත් කරගැනීමට වූ පොරොන්දු ද, අවදානමට පාත්‍ර වී තිබේ. දේශපාලනයේ ආගමික පූජකවරුන්ට ඇති ස්ථානය ද යළි-නිර්වචනයවීමට ඉඩ තිබේ. මේ වෙනස්කම් සමගින් අපි දශක හතක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ ආයෝජනවලින් දුරස් වෙමින් සිටින්නෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *


Scroll to Top
Skip to content